
අපි ගැන
හැඳින්වීම


ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය නංවාලීමේ දැවැන්ත පියවරක් ලෙස, 2023 අංක 16 දරන අයවැය යෝජනාව මගින් කුරුඳු සංවර්ධනය සඳහාම වෙන්වූ නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට රජය යෝජනා කළේය. මෙම යෝජනාව පාර්ලිමේන්තු අනුමැතිය හිමිකර ගනිමින් ඉදිරියට ගියේය. ඒ අනුව, "කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීම" මැයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අංක 23/1501/601/050 දරන ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2023-08-14 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව 2023-09-01 දින සිට බලපැවැත්වෙන පරිදි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ එල්.එම්.ජේ.කේ. ලින්දාර මහතා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරන ලදී.
දෙපාර්තමේන්තුව තවදුරටත් ශක්තිමත් කරමින්, මීට පෙර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පැවති ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය 2024-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව නව දෙපාර්තමේන්තුව වෙත පවරන ලදී. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ ස්ථාපිත කර ඇත. දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන පින්නදූව "කුරුඳු දොරටුව" (Cinnamon Gate) ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. දැනට සියලුම සංවර්ධන හා ව්‍යාප්ති කටයුතු ප්‍රධාන කාර්යාලය මගින් මනා සම්බන්ධීකරණයකින් යුතුව මෙහෙයවනු ලැබේ.

දැක්ම සහ මෙහෙවර
දැක්ම
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන නැඹුරු වැවිලි බෝගය ලෙස සිලෝන් කුරුඳු ස්ථානගත කිරීම
මෙහෙවර
තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම, ගුණාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම තුළින් ජාතික ආර්ථිකයට කුරුඳු කර්මාන්තයේ දායකත්වය ශක්තිමත් කිරීම සහ සියලු පාර්ශවකරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම අපගේ මෙහෙවරයි.
