
GAP සහතිකකරණය
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) පිළිබඳ හැඳින්වීම
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යනු ගොවිපලවල කෘෂිකාර්මික, පාරිසරික, ආර්ථික සහ සමාජයීය තිරසාරභාවය ළඟා කර ගැනීම අරමුණු කරගත් පුළුල් රාමුවකි. මෙම පිළිවෙත් මගින් සෞඛ්‍යයට හිතකර, උසස් තත්ත්වයේ ආහාර සහ ආහාර නොවන කෘෂිකාර්මික නිෂ්පාදන සහතික කෙරේ. 2003 දී FAO විසින් ස්ථාපිත කරන ලද මාර්ගෝපදේශ මත පදනම්ව, GAP මූලධර්ම සැලසුම් කර ඇත්තේ ගොවීන්ට උසස් සහ ආරක්ෂිත කෘෂිකාර්මික නිෂ්පාදන ලබා ගැනීමට සහාය වීම සඳහා ය. අපවිත්‍ර වීමේ අවදානම අවම කරන ක්‍රම භාවිතා කිරීම, ස්වාභාවික සම්පත් විචක්ෂණශීලීව කළමනාකරණය කිරීම සහ කම්කරුවන්ගේ හා ප්රජාවන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම මගින් මෙය සාක්ෂාත් කරගනු ලැබේ. GAP පාංශු සෞඛ්‍යය, ජල කළමනාකරණය, පළිබෝධ පාලනය, සත්ත්ව සුබසාධනය සහ රසායනික ද්‍රව්‍ය විචක්ෂණශීලීව භාවිතා කිරීම ඇතුළු ගොවිතැනේ විවිධ තීරණාත්මක අංශ ආවරණය කරයි. GAP ප්‍රමිතීන්ට අනුකූල වීමෙන් ගොවීන්ට ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, වඩා හොඳ වෙළඳපල ප්‍රවේශයක් ලබා ගැනීමට සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ තිරසාරභාවයට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැක.
යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වල අවශ්‍යතාවය
- ආහාර සුරක්ෂිතතාව: GAP සහතික කිරීම මගින් කෘෂිකාර්මික නිෂ්පාදන අපවිත්‍ර වීමේ අවදානම අවම වන අයුරින් නිෂ්පාදනය, හැසිරවීම සහ ගබඩා කිරීම සහතික කර මහජන සෞඛ්‍යය ආරක්ෂා කරයි.
- වෙළඳපල ප්‍රවේශය: GAP සහතිකය සහිත ගොවීන්ට වඩාත් තරඟකාරී වෙළඳපල වෙත ප්‍රවේශ විය හැකි අතර, බාධක අවම වීමෙන් සහ වෙළඳ අවස්ථා වැඩි වීමෙන් ප්රතිලාභ ලැබේ.
- පාරිභෝගික විශ්වාසය: නිෂ්පාදන උසස් ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල වන බව පෙන්වීමෙන් පාරිභෝගික විශ්වාසය වර්ධනය වේ.
- තිරසාරභාවය: කාර්යක්ෂම ජල භාවිතය, පාංශු සංරක්ෂණය සහ අඩු රසායනික භාවිතය වැනි පරිසර හිතකාමී පිළිවෙත් ප්‍රවර්ධනය කරයි.
- ආර්ථික ප්රතිලාභ: GAP ක්‍රියාත්මක කිරීමෙන් ගොවීන්ට මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, නාස්තිය අවම කිරීමට සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට හැකි වේ.
- සේවක සෞඛ්‍යය හා ආරක්ෂාව: ගොවිපල සේවකයින්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කිරීම, සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම සහ වෘත්තීය උපද්‍රව අවම කිරීම අරමුණු කරයි.
- නියාමනයන්ට අනුකූල වීම: ආහාර නිෂ්පාදනය සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුකූල වීමට ගොවීන්ට උපකාර කරයි.
- ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම: GAP මගින් දිරිමත් කරනු ලබන ක්රමානුකූල ප්‍රවේශය උසස් තත්ත්වයේ නිෂ්පාදන අඛණ්ඩව ලබා ගැනීමට මග පාදයි.
- අවදානම් කළමනාකරණය: වගා ක්‍රියාවලිය පුරාවටම අවදානම් හඳුනා ගැනීමට සහ අවම කිරීමට ශක්තිමත් රාමුවක් සපයයි.
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා ක්ෂේත්‍ර වැඩසටහන
- (පියවර 1) භූමියක් තෝරා ගැනීම සහ වගා කිරීම – බෝගයට අදාළ සුදුසු භූමියක් තේරීම හා වගා කිරීම හෝ දැනට වගාව පවතින ක්ෂේත්‍ර සඳහා ප්‍රධාන අස්වැන්න නෙලීමෙන් පසු නව වගාවක් ලෙස සලකා GAP ක්‍රියාදාමය සහතිකකරණය සඳහා ආරම්භ කළ හැක.
- (පියවර 2) බිම් පිළියෙල කිරීම – පාරිසරික තිරසාරභාවය ආරක්ෂා වන පරිදි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශ වලට අනුකූලව බිම් පිළියෙල කිරීම.
- (පියවර 3) රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම – ගුණාත්මක සහතික කල බීජ හා රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම.
- (පියවර 4) බෝගය ක්ෂේත්රයේ පිහිටුවීම – නියමිත පරතර අනුව බෝගය ක්ෂේත්රයේ පිහිටුවීම.
- (පියවර 5) ජලය සහ පෝෂක කළමනාකරණය – ජල සම්පාදන හා ජල කළමනාකරණය, නිර්දේශිත පරිදි පොහොර යෙදීම (කාබනික හා රසායනික), ඒකාබද්ධ පළිබෝධ හා රෝග පාලනය.
- (පියවර 6) පළිබෝධනාශක කළමනාකරණය සහ සේවක සුබසාධනය – පළිබෝධනාශක කළමනාකරණය, සේවක සෞඛ්‍ය, ආරක්ෂාව හා සුබසාධනය, ගොවිපල යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම.
- (පියවර 7) අස්වනු නෙලීම සහ පරිහරණය – අස්වනු නෙලීම හා ගුණාත්මය ආරක්ෂා වන පරිදි පරිහරණය.
- (පියවර 8) ප්‍රවාහනය – නිෂ්පාදන වල ගුණාත්මය ආරක්ෂා වන පරිදි ප්‍රවාහනය.
- (පියවර 9) ලේඛනගත කිරීම සහ විගණනය – ඉහත සියලු පියවරයන් තුලදී ලේඛන හා වාර්තා නඩත්තු කිරීම හා ගොවිපල තුල අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම.
ගොවිපලකට, සමූපකාර ගොවිපලකට හෝ ගොවි සංවිධානයකට GAP සහතිකය ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග
- පියවර 1 – අයදුම්පත ඉදිරිපත් කිරීම – තනි තනි ගොවීන් හෝ සමූපකාර ගොවිපල හෝ ගොවි සමිති ලෙස සංවිධානය වීම හා GAP අයදුම්පත නිසිපරිදි සම්පූර්ණ කර කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- පියවර 2 – අයදුම්පත සමාලෝචනය – දෙපාර්තමේන්තුවේ GAP වැඩසටහන ක්‍රියාත්මක කරන අංශය විසින් අයදුම්පත විමර්ශනය කර ලියාපදිංචි අංකයක් ලබාදීම.
- පියවර 3 – අනුකූලතා මගපෙන්වීම – ක්‍රියාත්මක කරන අංශය විසින් GAP ක්‍රියාදාමයට නියමිත සම්මත අනුව ඊට අනුගතවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අයදුම්කරුවන් දැනුවත් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂා කර සුදුසු උපදෙස් ලබාදීම.
- පියවර 4 – විගණන අංශය වෙත යොමු කිරීම – නිසි පරිදි අනුගත වූ අයදුම්කරුවන් විගණනය කිරීම සඳහා විගණන අංශය වෙත අයදුම්පත යොමුකිරීම.
- පියවර 5 – මූලික විගණනය – විගණන අංශය විසින් අදාළ ක්ෂේත්‍ර පරීක්ෂාව කොට තවදුරටත් සිදුවිය යුතු අනුගතවීම් පිළිබඳව අයදුම්කරුවන් හා ක්‍රියාත්මක කරන අංශය දැනුවත් කිරීම.
- පියවර 6 – අනුගතවීම් ක්‍රියාත්මක කිරීම – අයදුම්කරුවන් විසින් අදාළ අනුගතවීම් සියල්ල සිදුකර අවසන් කොට ක්‍රියාත්මක කරන අංශය හරහා නැවත දෙවන විගණනය සඳහා විගණන අංශය වෙත දැනුම් දීම.
- පියවර 7 – දෙවන විගණනය – විගණන අංශය විසින් අදාළ ක්ෂේත්‍ර නැවත පරීක්ෂාව කොට නියමිත අනුගතවීම් සියල්ල සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන්ගේ තොරතුරු සහතිකකරණ අංශය වෙත යොමුකිරීම හෝ තවදුරටත් සිදුවිය යුතු අනුගතවීම් පවතී නම් ඒ සඳහා නැවත දැනුම් දීම.
- පියවර 8 – සහතික කිරීම හෝ වැඩිදුර විගණනය – සහතිකකරණ බලධාරී විසින් සමත් වූ අයදුම්කරුවන් සඳහා GAP සහතිකය නිකුත්කිරීම හෝ දෙවන විගණනයෙන් අසමත් වූ අයදුම්කරුවන් නැවතත් නියමිත අනුගතවීම් සියල්ල සිදුකර ක්‍රියාත්මක කරන අංශය හරහා තෙවන විගණනය සඳහා විගණන අංශය වෙත දැනුම් දීම.
- පියවර 9 – තෙවන විගණනය – විගණන අංශය විසින් තෙවන විගණනය සිදුකොට ඉන් සමත් වන අයදුම්කරුවන්ගේ තොරතුරු සහතිකකරණ අංශය වෙත යොමුකිරීම හෝ ඉන්ද අසමත් වන අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉවත්කිරීම (කෙසේ වෙතත් මෙහිදී ඉවත්වන අයදුම්කරුවන්ට අදාළ අනුගතවීම් සියල්ල සිදුකර GAP සහතිකය සඳහා නැවත ඉල්ලීම් කල හැක).
- පියවර 10 – GAP සහතිකය නිකුත් කිරීම – තෙවන විගණනයෙන් සමත් වූ අයදුම්කරුවන් සඳහා සහතිකකරණ බලධාරී විසින් GAP සහතිකය නිකුත් කිරීම.
