Department of Cinnamon Development
ගොවිපල දත්ත කළමනාකරණය

ගොවිපල දත්ත කළමනාකරණය

හැඳින්වීම

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහ භූගෝලීය දර්ශක (GI) සහතික ලබා ගැනීමට අපේක්ෂා කරන කුරුඳු ගොවීන් සඳහා ඵලදායී ගොවිපල දත්ත කළමනාකරණය ඉතා වැදගත් වේ. නිවැරදි වාර්තා පවත්වා ගැනීමෙන් සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිපැදීමෙන් ගොවීන්ට ඵලදායිතාව, තිරසාරභාවය සහ ආදායම වැඩිදියුණු කරගත හැක. එම නිසා සෑම ගොවිපලකම යාවත්කාලීන දත්ත පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ගොවිපලෙහි පහත සඳහන් දත්ත පවත්වාගෙන යා යුතුය.

ගොවිපල සිතියම

විස්තරාත්මක ගොවිපල සිතියමක් නිර්මාණය කර පවත්වාගෙන යාම ඵලදායී ගොවිපල කළමනාකරණය සඳහා තීරණාත්මක වේ. එහි ඇතුළත් කළ යුතු අත්‍යවශ්‍ය අංග පහත දැක්වේ:

  • ක්ෂේත්‍ර මායිම්: ක්ෂේත්‍ර හෝ බිම් කොටස්වල මායිම් පැහැදිලිව සලකුණු කරන්න.
  • වගා ප්‍රදේශ: කුරුඳු සහ අනෙකුත් බෝග වගා කර ඇති ස්ථාන දක්වන්න.
  • වාරිමාර්ග පද්ධති: ජල මූලාශ්‍ර සහ බෙදා හැරීමේ මාර්ග ඇතුළුව වාරිමාර්ග පද්ධතියේ සැකැස්ම පෙන්වන්න.
  • යටිතල පහසුකම්: ගොඩනැගිලි, ගබඩා පහසුකම්, සැකසුම් ඒකක සහ අනෙකුත් යටිතල පහසුකම් පිහිටි ස්ථාන සලකුණු කරන්න.
  • මාර්ග: ගොවිපල තුළ පිවිසුම්, පිටවීම් සහ අභ්‍යන්තර මාර්ග හඳුනා ගන්න.
  • පාරිසරික ලක්ෂණ: ගංගා, ඇළ දොළ, පොකුණු හෝ වනගත ප්‍රදේශ වැනි ස්වභාවික ලක්ෂණ ඇතුළත් කරන්න.
  • යාබද ඉඩම්: අසල්වැසි ක්ෂේත්‍ර සලකුණු කර ඒවායේ භාවිතයන් සටහන් කරන්න.

ඓතිහාසික වාර්තා

ඔබේ ගොවිපල පිළිබඳ ඓතිහාසික වාර්තා පවත්වා ගැනීම දිගුකාලීන ප්‍රවණතා අවබෝධ කර ගැනීමට සහ නිවැරදි තීරණ ගැනීමට අත්‍යවශ්‍ය වේ. ලේඛනගත කළ යුතු ප්‍රධාන කරුණු මෙන්න:

  • ගොවිපල පිහිටුවීම: පිහිටුවන ලද වර්ෂය, ආරම්භක ඉඩම් තත්ත්වය සහ සිදු කරන ලද මූලික ආයෝජනය වාර්තා කරන්න.
  • හිමිකාරිත්වය සහ කළමනාකරණ වෙනස්කම්: දිනයන් සහ විස්තර ඇතුළුව කාලයත් සමඟ සිදුවූ ඕනෑම හිමිකාරිත්ව හෝ කළමනාකරණ වෙනස්කමක් ලේඛනගත කරන්න.
  • ප්‍රධාන සිදුවීම්: ස්වභාවික විපත්, ප්‍රධාන ප්‍රතිසංස්කරණ, ගොවිතැන් පිළිවෙත්වල වෙනස්කම් හෝ වෙනත් බලපෑම් සහගත සිදුවීම් සටහන් කරන්න.

ඉඩම් සකස් කිරීම

  • බිම් සැකසීම ආරම්භ කිරීමට පෙර ඉඩමේ තත්ත්වය සහ ස්වභාවය සටහන් කරන්න.
  • බිම් සකස් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම, කාලසීමාවන් සහ වැදගත් තොරතුරු වාර්තා කරන්න.
  • පස්වල pH අගය තීරණය කිරීම සඳහා පස පරීක්ෂණයක් පවත්වා එම පරීක්ෂණ වාර්තාවේ සටහන් තබා ගන්න.

රෝපණ ද්‍රව්‍ය පිළිබඳ දත්ත

සපයාගත් ආකාරය, ප්‍රදේශය, තවානකින් මිලදී ගත්තේ නම් තවාන පිළිබඳව තොරතුරු, ලියාපදිංචි තවානක් ද යන වග, පැළ සහතික කර ඇති ද යන වග, පැළ ලබාගත් කාල සීමාව, ප්‍රවාහනය කළ ආකාරය ඇතුළු වැදගත් දත්ත සටහන් කරගන්න.

බෝග කළමනාකරණය

  • 1. සිටුවීම: කුරුඳු පැළ සිටුවීමේ දිනයන්, පරතරය සහ වැදගත් කරුණු වාර්තා සටහන් කරගන්න.
  • 2. පෝෂක කළමනාකරණය: විවිධ අවධි වල භාවිතා කළ පොහොර වර්ග, ප්‍රමාණ සහ කාල සීමාවන් සටහන් කරගන්න.
  • 3. පළිබෝධ හා රෝග පාලනය: පළිබෝධ හා රෝග පිළිබඳ වාර්තා ගත සිදුවීම්, පාලනය සඳහා භාවිතා කරන ක්‍රම, රසායනික ද්‍රව්‍ය භාවිතා කළේ නම් යොදාගත් අනුපාත සහ භාවිත කළ ප්‍රමාණ සටහන් කරන්න.
  • 4. ජල සම්පාදනය: වාරිමාර්ග කාලසටහන්, ක්‍රම සහ ජල ප්‍රභව පිළිබඳව තොරතුරු සටහන් කරන්න. ජල ප්‍රභවයේ ගුණාත්මකභාවය පිළිබඳව වාර්තා ලබාගෙන තබාගැනීම සහ වාර්තාවලට අදාළව කටයුතු කිරීම ඉතා සුදුසුය.
  • 5. අනෙකුත් ගොවිපළ කළමනාකරණ කටයුතු: නුහුරු පෑහීම, වල් මර්ධනය, අතු බැඳීම ඇතුළු එක් එක් කටයුතු සිදු කළ දිනයන් සහ භාවිතා කළ ශිල්පීය ක්‍රම ඇතුළුව සෑම නඩත්තු කටයුත්තක් පිළිබඳවම සටහන් තබාගන්න.
  • 6. අස්වනු නෙලීමේ දිනයන්: කුරුඳු අස්වැන්න නෙළන දිනයන් සටහන් කරන්න.
  • 7. අස්වැන්න:
    • අස්වැන්න මැන බලා වාර්තා කරන්න.
    • කුරුඳු කැපූ ආකාර, යොදවා ගත් පුද්ගලයින් පිළිබඳ විස්තර, භාවිතා කළ උපකරණ, කුරුඳු කෝටු ප්‍රවාහනය කළ ආකාරය ඇතුළු වැදගත් තොරතුරු සටහන් කරගන්න.

සැකසුම් සහ ගබඩා කිරීම

සැකසුම්:

  • කුරුඳු සැකසීම සඳහා භාවිතා කරන ක්‍රම සටහන් කරන්න.
  • භාවිතා කරන ලද ඕනෑම යන්ත්‍රෝපකරණ හෝ මෙවලම් පිළිබඳව සහ ඒවායේ නඩත්තු කාලසටහන් පිළිබඳව සටහන් කරන්න.

ගබඩා කිරීම:

  • උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය ඇතුළුව ගබඩා තත්ත්ව පිළිබඳ තොරතුරු ලේඛනගත කරන්න.
  • කාලයත් සමඟ ගබඩා කර ඇති කුරුඳු වල ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමට සහ පවත්වා ගැනීමට වාර්තා තබා ගන්න.

විකුණුම් සහ අලෙවිකරණය

නිෂ්පාදන ඇසුරුම්: අවසාන නිෂ්පාදනයට යොදන වෙළඳ නාමයක් හෝ ලේබල් කිරීමක් ඇත්නම් සටහන් කරන්න.

ගැනුම්කරුවන්ගේ තොරතුරු:

  • එක් එක් ගැනුම්කරුගේ තොරතුරු, අලෙවි කළ කුරුඳු ප්‍රමාණ, වර්ග, අලෙවි කළ දින සටහන් තබාගන්න.
  • බිල්පත් හෝ ඉන්වොයිස් අමුණා තබාගැනීම ද වැදගත් වේ.

ගැනුම්කරුවන්ගේ ප්‍රතිචාර:

  • ගැනුම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ සටහන් තබාගන්න.
  • නිෂ්පාදන ගුණාත්මකභාවය හෝ අලෙවිකරණ උපායමාර්ග වැඩි දියුණු කිරීම සඳහා ඉහත ප්‍රතිචාර මත පදනම්ව කරන ලද ඕනෑම ගැලපීමක් සටහන් කරන්න.

මූල්‍ය කළමනාකරණය

  • වියදම්: යෙදවුම්, ශ්‍රමය සහ උපකරණ ඇතුළු ගොවිපල ආශ්‍රිත සියලු වියදම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා තබා ගන්න.
  • ආදායම: කුරුඳු සහ අනෙකුත් ගොවිපල නිෂ්පාදන විකිණීමෙන් ලැබෙන ආදායම සටහන් කරන්න.

ලාභදායිතාව විශ්ලේෂණය:

  • ගොවිපලේ මූල්‍ය කාර්යසාධනය නිතිපතා විශ්ලේෂණය කරන්න.
  • ලාභදායිතාව වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ඕනෑම වෙනස්කමක් සටහන් කරන්න.

මානව සම්පත් කළමනාකරණය

  • සේවක තොරතුරු: නම්, සම්බන්ධතා තොරතුරු, භූමිකාවන් සහ වගකීම් වැනි විස්තර ඇතුළත් කරන්න.
  • පුහුණු වාර්තා: සේවකයින් සහභාගී වූ සියලුම පුහුණු සැසි, ආවරණය කරන ලද මාතෘකා සහ දිනයන් ලේඛනගත කරන්න.
  • සෞඛ්‍ය වාර්තා: වෛද්‍ය ඉතිහාසය, එන්නත් කිරීම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ඕනෑම සිදුවීමක් ඇතුළත් සෞඛ්‍ය වාර්තා පවත්වා ගන්න.
  • පවරා ඇති රාජකාරි: සෑම සේවකයෙකුටම පවරා ඇති රාජකාරි පැහැදිලිව දක්වා යාවත්කාලීන කරන්න.

ඔබේ පහසුව පරිදි දත්ත ගබඩා කර ගැනීම සඳහා අත් පොත්, ලොග් සටහන්, පරිගණක මෘදුකාංග, ජංගම දුරකතන මෘදුකාංග වැනි ක්‍රමවේදයක් භාවිතා කළ හැකිය. දත්ත නිතිපතා යාවත්කාලීන කරන බවට වගබලා ගැනීම අත්‍යවශ්‍ය වේ.