Department of Cinnamon Development
GI සහතිකකරණය

GI සහතිකකරණය

ශ්‍රී ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශක (GI) සහතිකය ලබා ගැනීම

GI සහතික කිරීම යනු නිෂ්පාදනයක් යම් නිශ්චිත ස්ථානයකින් ආරම්භ වන බව හඳුනා ගන්නා බුද්ධිමය දේපල අයිතියක් වන අතර එහිදී එහි ගුණාත්මකභාවය, කීර්තිය හෝ වෙනත් ලක්ෂණ එහි භූගෝලීය සම්භවයට සම්බන්ධ කරයි. මෙම සහතිකය මඟින් වෙළඳපොළ වටිනාකම ඉහළ නැංවීම, නිෂ්පාදන වල අනුරේඛීයතාවය සහතික කිරීම සහ ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව හා සම්බන්ධ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදෙයි.

මෙහිදී කුරුඳු තවාන් ශිල්පීන්ගේ සිට අපනයන කරුවන් දක්වා වන කුරුඳු අගයදාමයේ සියලුම පුරුක් සඳහා GI සහතිකය ලබාගතහැකිය. එමගින් GI සහතිකකරණය කරන ලද නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කළ හැකිය.

GI සහතිකය ලබාගත හැකි කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන

  • කැපූ කුරුඳු
  • කුරුඳු කුඩු
  • කුරුඳු කොළ තෙල්
  • කුරුඳු පොතු තෙල්

GI සහතික කිරීමේ ප්‍රතිලාභ

  1. 1. වෙළඳපල පිළිගැනීම: තරඟකාරී වෙළඳපොළ තුළ සහතිකකරණය කළ කුරුඳු නිෂ්පාදන සඳහා වැඩි කැමැත්තක් හා ඉල්ලුමක් ඇති කරයි.
  2. 2. වෙළඳපොළ මිල ඉහළයාම: සහතික කළ නිෂ්පාදන වලට ඒවායේ පිළිගත් ගුණාත්මකභාවය සහ අනුරේඛීයතාවය හේතුවෙන් ඉහළ මිලක් නියම කළ හැකිය.
  3. 3. අනිසි භාවිතයට එරෙහිව ආරක්ෂාව: GI සහතිකකරණය ඔබේ නිෂ්පාදනය නම අනුකරණය කිරීමෙන් සහ අනිසි ලෙස භාවිතා කිරීමෙන් නීත්‍යානුකූලව ආරක්ෂා කරයි.
  4. 4. සංස්කෘතික උරුමය: ශ්‍රී ලාංකීය කුරුඳු වගාව හා බැඳුණු සම්ප්‍රදායික දැනුම හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කරයි.

ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ භූගෝලීය දර්ශක සංගමය සහ දිස්ත්‍රික් මට්ටමේ සංගම්වල කාර්යභාරය

ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ භූගෝලීය දර්ශක සංගමය (CCPGIA) දිස්ත්‍රික් මට්ටමේ සංගම් සමඟ ඒකාබද්ධව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය සහ අදාල අනෙකුත් ආයතන සංගම් සමඟ එක්ව GI සහතිකය ලබා ගැනීම සහ පවත්වා ගැනීම සඳහා ගොවීන්ට සහාය වීම සඳහා කටයුතු කරයි. ගොවීන් ලියාපදිංචි කර ගැනීම, අදාළ ආයතන ඒකාබද්ධ කරගනිමින් පුහුණු වැඩසටහන් පැවැත්වීම, අභ්‍යන්තර විගණනය සිදු කිරීම ඇතුළු ප්‍රධාන පියවර බොහෝමයක වගකීම මෙම සංගමය සතු වේ.

GI සහතිකය ලබාගන්නේ කෙසේද?

1. ලියාපදිංචිය

  • දිස්ත්‍රික් භූගෝලීය දර්ශක සංගමයේ ලියාපදිංචි වීම සඳහා අදාල ඉල්ලුම්පත්‍රය ඔබේ දිස්ත්‍රික්කයේ භූගෝලීය දර්ශක සංගමය වෙතින් ලබාගත හැකිය.
  • සංගමයේ උපදෙස් පරිදි ඉල්ලුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර සංගමය වෙත භාරදෙන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය සංගමය වෙත භාර දෙන්න.

2. ප්‍රමිතීන්ට අනුකූල වීම

  • කුරුඳු භූගෝලීය දර්ශක සංගමය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය හෝ වෙනත් ආයතන මගින් පැවැත්වෙන පුහුණු සැසි සඳහා සහභාගී වන්න.
  • මාර්ගෝපදේශ සංග්‍රහය සංගමය වෙතින් හෝ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගන්න.
  • එම උපදෙස් වලට අනුකූල වන පරිදි ඔබේ පිරියත සකස් කරගන්න.

3. වාර්තා තබා ගැනීම සහ අනුරේඛීයතාව පවත්වාගැනීම

  • ඉඩම් සකස් කිරීමේ සිට අස්වනු නෙලීම සහ සැකසීම දක්වා සියලු ගොවිතැන් කටයුතු පිළිබඳ සවිස්තර වාර්තා පවත්වාගෙන යන්න.
  • වැඩිදුර තොරතුරු සඳහා ගොවිපොළ දත්ත කළමනාකරණය පරිච්චේදය කියවන්න.
  • තවාන්, කුරුඳු සැකසුම් ඒකක ඇතුළු අනෙකුත් සියලු අදියර වලදී ලැබෙන උපදෙස් හා මාර්ගෝපදේශයේ සඳහන් පරිදි දත්ත පවත්වාගෙන යන්න.
  • අනුරේඛීයතාව පවත්වා ගැනීම සඳහා එක් එක් අංශයෙන් එකතු කරන දත්ත අන්තර් සම්බන්ධිත බවට වග බලා ගන්න.

4. ස්වයං විගණනය

  • ලබාදී ඇති මාර්ගෝපදේශයට අනුකූලව ඔබේ පිරියතේ ස්වයං විගණනයක් සිදු කරන්න.
  • අභ්‍යන්තර විගණනය සඳහා වන ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර විගණන වාර්තාව සකස් කරන්න.
  • ඉල්ලුම් පත්‍රය සහ විගණන වාර්තාව සංගමය වෙත භාර දෙන්න.

5. අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ භූගෝලීය දර්ශක සංගමයේ පුහුණු විගණන කමිටුවක් මගින් ඔබේ පිරියත විගණනය කර අපනයන සංවර්ධන මණ්ඩලය සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අනුකූලතා වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත. අනුකූල නොවන තත්ත්වයක් පවතී නම් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනු ඇති අතර ඔබ අවශ්‍යතා සපුරා ඇති බවට ලිඛිතව දැනුම් දුන් පසු දෙවන අභ්‍යන්තර විගණනයක් පවත්වනු ලැබේ.

6. බාහිර විගණනය

අභ්‍යන්තර විගණනය සමත් වීමෙන් පසු, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ බාහිර විගණන අංශය විසින් බාහිර විගණනයක් සිදු කර අපනයන සංවර්ධන මණ්ඩලය වෙත වාර්තාවක් සපයනු ඇත. අවශ්‍යතා සපුරා නොමැති නම් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනු ඇති අතර, අවශ්‍යතා සපුරා ඇති බවට ඔබේ ලිඛිත තහවුරු කිරීමෙන් පසුව දෙවන බාහිර විගණනයක් සිදු කරනු ලැබේ.

7. සහතික පත්‍ර ප්‍රදානය කිරීම

බාහිර විගණන වාර්තාව අනුව ඔබ ප්‍රධාන අවශ්‍යතා 100% ක් සහ සුළු අවශ්‍යතා 50% ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇති බව තහවුරු වීමෙන් පසු අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ඔබට භූගෝලීය දර්ශක සහතිකය නිකුත් කරනු ඇත.